එකෝමත්තෙක කාලෙක [1 කොටස]

එකෝමත්තෙක කාලෙක එකෙක් ඉන්න බැරිකමට බ්ලොග් ලිව්වා. කැසිල්ලට! දිගටම ලිව්වා. කියවපු උන් නැතුවමත් නෙමෙයි. හිටියත් නැතත් ඌ ලිව්වා. ඌ කලින් කවි ලිව්වා, සිව්පද ලිව්වා, කතා ලිව්වා, විහිළු ලිව්වා, පොඩි කවි ලිව්වා, වචන සීයේ කතා ලිව්වා, පොත් ගැන ලිව්වා, කෑම ගැන ලිව්වා, දේශපාලනේ ගැන ලිව්වා, පින්තූර ගැහුවා, අමුතු කතා ලිව්වා, කළාව ගැන ලිව්වා, උගේ සෙට් එහෙක සෙට් වීම් ගැන ලිව්වා. ආරම්භෙටම එක ලිපියක් වියදම් නොකර, මෙතන ඉඳන් ඌ පටන් ගන්නේ උගේ අලුත්ම බ්ලොග් කෝලම. මෙගා! හැබැයි මේ උගේ කතාව නෙමෙයි. නැත්තෙමත් නෙමෙයි. මේ ඌ හින්දා ඌට හිතෙන කතාව. තාම ඌට හිතිලා තියෙන්නේ පලවෙනි කොටස විතරයි. ඌ කිව්වේ මට. ඔන්න එහෙනං. . .

තවත් පැයක් ඉතුරුයි. බස් එක මැජස්ටික් ඉස්සරහින් පාර පනින උන්ට ඉනිමං බැඳගෙන ඉන්නවා. මම බැස්සා. බස් එකෙන්. මමත් රිලවෙක් උනා. පයින්ම යන්න හිතපු මම හැමදාමත් වගේ මරේන්ද්‍රා ඉස්සරහා පොත් විකුනන වික්‍රම අන්කල් ගාව නැවතුනා. ඉංග්‍රීසි ඩික්ෂනරි පෙල්ලන්න තියෙන කම්මැලි කම කියවන්න තියෙන ආසාවට උඩින් ගියපු හින්දා පනහට හැටට තිබ්බ පොත් ගොඩත් වික්‍රම අන්කල්ගේ හිනාවත් අතෑරලා මම ඉස්සරහට ගියා. මම දැන් ඉලාස්ටෝ බෝඩ් එක ගාව. මම අම්මත් එක්ක ඉස්කෝලේ යනකොටත් ඔය ඉලාස්ටෝ බෝඩ් එකේ අකුරු වල එල්ලි එල්ලී තියෙන දිලිසෙන පෙති ඉල්ලලා ඇඬුවා මතකයි. මම පස්සේ එයින් පෙත්තක් ගලව ගත්තා. ඒ දෙදාස් හයේ මාර්තු අට. ආනන්ද නාලන්ද බිග් මැච් ඉවර වෙලා එන ගමන්. රෑ වෙලා එන්න ටොරිංටන් වල බස් නොතිබිච්ච නිසා බම්බලපිටියටම පයින් ආපු එක මගේ පුංචි කාලේ මනදොල සපිරෙව්වා. ප්‍රසිද්ධ පාරෙන්ම යන එක මට පෙන්නනම බැරි දෙයක්. ඒ නිසා සුමති බිල්ඩිමත් පහුකරන් ගිහින් ටස් එක ගාවින් ඇතුලට හැරුනා. ටස් කියන්නේ ඒ පැත්තට ඉස්කෝල ඇඳුම් මහන ප්‍රසිද්ධම තැන The Uniform Shop.

මම ඔතනින් යද්දී උදේ හතයි. තාමත් ඊයේ රෑ කුඩු ගහපු උන් දෙන්නෙක් තාප්පෙකට හේත්තු වෙලා හඳ අල්ලනවා. මම ලිවයිස් ෂෝරූම් ගාවින් ඩුප්ලිකේෂන් පාරට මතු උනා. මම ඇවිදන් ගියා ක්වීන්ස් පැත්තට. අශෝක් ලේලන්ඩ් පහු කරන්, ඩයලොග් පහු කරන් සොෆ්ට්ලොජික් මම ඉස්සරහට ගියා. ඉස්සර ඉස්කෝලේ යද්දි මම සොෆ්ට්ලොජික් එකේ කෙල්ලෙක්ට ට්‍රයි කලා. ඇම්ම වැඩි කමටම මම එතනින් ෆෝන් එකකුත් ගත්තා. එයාගේ නොම්බරෙත් හම්බුනා බිල පිටිපස්සේ ලියලා. අවුලක් උනොත් කතාකරන්න. නම තිලිනි. නොම්මරේ ඩයලොග් එකක්. ඒකත් එක පිස්සුවක්. මම පාර පැන්නා ක්වීන්ස් රෝඩ් එකෙන් ඉස්සරහට මම ඇවිදන් ගියා. ඒ පාරේ තමයි මම මෙතුවක් ආසම වාහනේ තියෙන්නෙත්. දැණට අවුරුදු 4කට කලින් ඉඳන් තාමත් මම එතනදි දෙතුන් පාරක්වත් ඒ පැත්ත නොබලා එන්නේ නෑ. මම කොළඹ කැම්පස් එක ඉස්සරහට මතු උනා. එතන හෝල්ට් එකේ හිටන් ඉන්න උන් එකෙක්වත් කැම්පස් එකේ උන් නෙමෙයි. මට නං එතන හිටන් ඉන්න එක දුකක්. කැම්පස් ආතල් එක මගේ ජීවිතේ මට අහිමි වෙච්ච ලොකුම ආතල් වලින් එකක්.

එතන පෙට්ටි කඩෙන් මඤ්ඤොක්කා සම්බෝල මුලක් බෑග් එකට දාගෙන මම පාර පැන්නා. කැම්පස් පහුකරන් ගිහින් ජාවත්තට හැරුනා. ආහ්. . . මම ආසම පාර. ඒ දිගේ ඉස්සරහට ගියා මම. ඒක කොළඹ උනාට සමතලා පාරක් නෙමෙයි. එක කකුලක් උඩින් තියෙනකොට අනික තියන්න වෙන්නේ ඊට අඟල් ගානක් පල්ලෙහායින්. ඒක මහත මට හුඟක් දැනෙන දෙයක්. මම අයිඩෙන්ටිකාඩ් ඔෆිස් එක ඉස්සරහින් තියෙන අලුත හදපු උද්‍යානෙට හැරුනා. ඒක හරිම සොඳුරු මතකයන් තියෙන, තවත් සොඳුරු මතකයන් විඳගන්න ඉන්න තැනක්. සුදාරකට, පහන්ට, සචී අක්කට මම ඔතන ගෑනිත් එක්ක ඉඳිද්දි අහුවෙලත් තියෙනව. කොහොම වෙතත් මම ඇවිදන් ගියා. තනි කොළ රෙද්දක දම් පාට බතික් පැල්ලම් වගේ ගස් අස්සෙන් අතරින් පතර දම් පාට මල් පිපිලා තිබුනා. මම වාඩි උනා අපි හැමදාම වාඩි වෙන කොන්ක්‍රීට් තීරුවේ. මම මඤ්ඤොක්කා පාර්සලේ දිගෑරගත්තා. මම කෑම කන ගමන් ගෑනිට රිං කරා.


එයාට එතකනුත් ලෙක්චර්ස්. කොහොම වෙතත් මම එච්චර වෙලා ලිව්වේ මගේ ආදරේව මුනගැහෙන්න මම බම්බලපිටියේ ඉඳන් ආපු හැටි. මගේ ආදරේ. . . ඒක හරි පුදුම චරිතයක්. ලස්සන චරිතයක්. අලුත් අලුත් දේ හොය හොය කන, බොන, කුණුහරුප ලියන, බඩ මහත, පිස්සු කෙලින, විභාග කෙලවගන්න එකෙක්ගේ ගෑනි මෙච්චර සොඳුරු වීමම ඊලඟ කොටස පුරවයිද?

2 comments:

ඉලංදාරියා said...

පට්ටම පට්ට දිගටම ලියමු පට්ට කතාවක් වෙන්න කියලා මම සුබ පතනව ..ජයෙන් ජය...

නඟා said...

හ්ම්ම්ම්ම්... අර බඩ මහත එකාගෙ ගෑනි ඇත්තටම සොදුරු කෙනෙක් කියලා පිටින් බැලුවමත් පේනවා. අද තමයි මේක කියෙව්වෙ.. :) :)